Thursday, December 26, 2013

සළෙලු සිතක් ...?


හිරු නැඟ එන හිමිදිරියක - ඒ එළියට වැඩිය දිලෙන 
නුඹේ මුහුණේ මල් හිනාව - නුඹට හොරෙන් රස වින්දාට 

පිච්ච මලේ සුවඳ කවපු - අත යට ගුලි කරන් හිටපු 
ලේන්සු පොඩියේ සුවඳත් - නුඹට හොරෙන් විඳ ගත්තාට 

සෙනඟ පිරුණු  බස් රථයේ - කාටවත්ම නොදැනෙන ලෙස 
ඇඟිලි තුඩින් නුඹට හොරා - නිල් වරලස පිරි මැද්දාට 

ඇසුරු සැණෙන් ළඟට ඇවිත් - ඇසිපියවර ගහන තරම් 
පුංචිම පොඩි කාලයකට - නුඹේ උණුහුම අර ගත්තාට 

කවදාවත් සිතුවේ නෑ - සීමා මායිම් බිදින්න
 එහෙව් කෙනෙක් ළඟ තියෙයිද - සළෙලු සිතක් සැඟවීගෙන

Sunday, December 22, 2013

සොඳුරුතම මතකයක්

සොඳුරු රළ විත් - වෙරළ පොවනා
ගැඹුරු දියඹත් - අහස සිඹිනා
හමන සුළඟත් - සිසිල සදනා
මිහිරි මොහොතක් - මතක රැදෙනා

බැදුණු සැම සිත් - ඔකඳ කරනා
නැගුණු සොම්නස් - සිනහ පිරෙනා
කවට කෙලිබස් - සවන රුවනා
සිතැඟි දහසක් - උදා කෙරුණා

මෙලෙස නැවතත් - එක්ව විදිනා
දිනය එනතෙක් - ඇඟිලි ගනිනා
කෙනෙකු නොවෙතොත් - පුදුම සිතෙනා
අසිරි දුටුවෙම් - සෙනෙහෙ ගලනා


ඇත්තටම පුදුමාකාර විදියට සතුටු උණ දිනයක්. 
පින්තූරය හොරෙන් උස්සපු එකක් හැබැයි

Sunday, December 8, 2013

ගිහින් එන්නම්


කළුවර පිරුණු රෑ
දුර දැකපු පහන් ටැඹ
එළඹිලා අවසන
අත පොවන මානයට

කලයුතු හුඟක් දෑ
ගොඩ ගැහී කප්පරක්
සිතත් හිරි වැටිලා
හැරයන්න වෙන නිසා

ඉසිඹුවක් ලදහොත්
ගොඩවදින අදිටනින්
මම ඇදෙමි පසුපස
නිකිණි හීනය සොයා

ප/ලි 
හුස්ම ගන්නවත් අමාරු තරමට වැඩ. උදේ පැයයි, හැන්දෑවේ පැයයි රෑ පැය දෙකක් විතර බ්ලොග් එකටයි, බුකියටයි එන කාලය ටික දවසකට නවත්තන්න වෙනවා. නැත්තම් ඕන දේ කරගත්තේ නෑ කියලා ගෙදරින් අහගන්න වෙනවා නේ. අඩු ගානේ රිසච් එක ඉවර කරගත්තට වත් පස්සේ තමයි මේ පැත්ත දිහා ඇහැක් හරවන්න පුළුවන්. එතකන් ගිහින් එන්නම්.
වැරදුණා 21දට හම්බෙන්න පුළුවන්නේ

ප/ප/ලි
පාදයක මාත්‍රා 9,10,9,10 වෙන විදියට මුලු මාත්‍රා ගණන 38 වෙච්ච උමතු ගී විරිත තමයි මේ. එළිසමය ඕන නෑ. ලස්සන නම් පොඩ්ඩක් අඩුයි. කොහොමත් මේ වගේ පිස්සුවෙන් දොඩවන්න ගන්න පුළුවන් හින්දා වෙන්න ඇති මේ නම එන්න ඇත්තේ

Sunday, December 1, 2013

බිදුණු මහ රුක

 
වෙළුණු ලිය වැල - වැතිර තුරු හිස -  ළහිරු  කිරණට  -  කඩුලු බදිනා
විහඟ කැළ නැගු - නාද මිහිරිය - නිහඩ බව බිඳ - සවන තෙමනා
සිහින උපදින - අරුම  විජිතය - දෙවි ලොවට යළි - නොයන ලෙසිනා
දුරක පැතිරුණු  - විල් තෙරක් මත - මැවුණු මහ රුක- සෙවණ සදනා

වරෙක හිනැහුණ - ලොවම මොහොතක - අඳුර අබියස - බියෙන් වැටුණා
නෙතඟ කෙළවර - මතුව මුතු කැට - හමන සුළගට - මුහුව සැලුණා
කොපුල් අතරින් - වැටෙන වැසි දිය - ඕලු සියපත් - මතට හෙළුණා
නොරද බිඳු බිඳු - එකට එක් වී - බොර දියෙහි රූ - රටා ඇදුණා

හෙළන සුසුමද - රුහිර  මිරිකා - සුරැකි මතකය - ඉවත අදිනා
නපුරු  විසකුරු -  කුරිරු  කාමය  - කුමකටද තොප - මෙලෙස කරනා
බැඳුන ලියවැල -  බොහෝ කල් සිට - වෙන්ව ඉවතට - කඩා හැලුණා
නිසල මහ රුක - තිබුණු තැන නැත - සැඩ සුළඟ ළඟ - ඉදිරි වැටුණා

ළබැඳි අරුණැල්  - අහස පැතිරුණු   -  නව දිනය යළි - පැමිණ තිබෙනා
පියවි ඇස මත - නොදැක මහරුක - කොහේ සැඟවිද - සොයා බලනා
වැටුණු තැන්වල - පසට යටවුණ - අතු රිකිලි මිස - කිසිත් නොවනා
රිදුණු හද තුළ - වැළලි නොයනට - සදාකල්හිම - මතක තිබුණා

          සඳස් කවිය කියන්නේ සිංහල සාහිත්‍යයේ මුදුන් මල් කඩ වගේ. ඒ සඳස් කවිය ලස්සන රටා වලින් පිරුණ තැනක්. ඒ ලස්සන රටා වලට කියන්නේ විරිත් කියලා. ඒ රටා අතුරින් ගොඩාක්ම ලස්සන රටාවක් තමයි "පුණු අතිපුණු විරිත". එක පේළියක මාත්‍රා 28 ක් විදියට ලියවෙන මේ රටාව අනිත් රටා අතරින් වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ එකේ තියන ළයාන්විත බව, සුගානීය බව හින්දමයි

Tuesday, November 26, 2013

කුදුගොත් කවි



---------------------------------
"උඹ ගාව හරි සීතලයි"
සඳත් කිව්වා මට 
බැස යන්න මොහොතකට කලින්

--------------------------------
බුරපන් තව හයියෙන්
පාත්වෙයි බිමටම 
කවදාහරි දවසක

--------------------------------
දන්කුඩේත් හුරාගෙන
හැන්ද විතරද ඉතුරු තනියට

--------------------------------
උඩට ගියා ගොඩක් අය
දැන් ඉතිං ආයේ වැඩක් නෑ 
ඉනිමඟ ගිහින් තියපන්

--------------------------------
"ඇයි මෙච්චර මල් පිපිලා
පාර දිගට?"
"පුතේ දැන් රෑ වෙලානේ"
-------------------------------


 කුදුගොත් කවි කියන්නේ මොනවද කියලා ගොඩක් අය දන්නේ නැතුව ඇති. ඒ තමයි ජපානයේ බුසෝන්, බෂෝ වගේ කවියෝ ලියපු ලෝක ප්‍රසිද්ධ  හයිකු කවි වලට කේ.ජයතිලක ශුරින් දීපු සිංහල නම. පුංචිම  පුංචි වචන ටිකක්  අතරේ ලොකු අර්තයක් හැංගිලා තියනවා. ආසාවට ලිව්වා මිසක් හරිද වැරදිද දන්නෙත් නෑ. අනුකරණයක් නම් කෙරුවේ නෑ. ඒත් කියවපු සමහරක් ඒවාගේ සෙවනැල්ල තියෙන්න ඉඩ තියනවා.


Friday, November 15, 2013

සරු නිසරු






බරට බරේ ගෙට ගත්තට
බොල් වී නොවැ මහ හුඟක් ම
ආසාවෙන් දින ගැන්නාට
සතුටක් නෑ අවසානෙට

එකක් දෙකක් හොඳ උණාට
සාරෙට හැදිලා තිබ්බට
කියන්න බෑ ගත් කටටම
මුළු කුඹුරම හොදයි කියලා

බලා ගන්න කෙනෙක් නැතුව
කණාටු වී හේ ගියාට
හැදුනා මෙහෙමත් ඇති නොවැ
මොකුත් නැතිව ඉන්නවාට

    
හැමදාම කවි ලිය ලියා ඉඳලා හරියන්නේ නෑ කියලා හිතලා ඒවාත් එක්ක කතාවකුත් හෙමීට ගැට ගහන්න හැදුවා නම් නෙමෙයි. මේක නොලියාම ඉන්න බැරි උණා. ඒකයි පුරුදු දේ අත ඇරලා නොදන්නා දේකට බැස්සේ.
     අවුරුදු ගාණකට පස්සේ මොරටුව සරසවිය මගින් පැහැසර 2013 කියලා කලා උළෙලක් තියනවා මේ එන දෙසැම්බර් වල. ඉතිං ඒකට හැම කලා මාධ්‍යයෙන්ම වගේ තරඟ තියනවා. සාහිත්‍ය අංශයෙනුත් ඉසව් 4ක් තියනවා සඳස්, නිසඳස්, රචනා සහ කෙටි කතා විදියට.මේ යටතේ නිර්මාණ එවන්න කියලා ලංකාවේ සියලුම පාසල් වලට වගේ ලියුම් එහෙමත් දැම්මා. සිංහලෙන් ලියනවා එහෙමයි, දෙමළ මාධ්‍යයෙන් ලියනවා නම් එහෙමයි. 
පහුගිය සති දෙකක් පුරාවට ආපු ලියුම් එකතු කරලා අද තමයි කඩලා බැලුවේ. ඒ මුලික වටයේ තෝරා ගැනීම් වලට. පුදුමාකාර සතුටක් දැනුනේ ඇවිත් තිබ්බ නිර්මාණ තොගය දැකලා. ලංකාවේ ඈතම ඈත කෙලවර තියන පාසල් වලින් පවා ඇවිත් තිබුණා.හිතාගන්නවත් බැරි විදියේ දක්ෂතා තිබුණු අය දැක්කා. උසස්ම ගණයේ  නිර්මාණත් සෑහෙන ගොඩක් තිබබා.
ඒත්.....
     ගොඩාක් නිර්මාණ කියවනකොට දැනුනේ නම් ඇත්තටම සංවේගයක්. පාසල් යන ළමයෙක් ගෙන් උසස් ගණයේ නිර්මාණ අපේක්ෂා කරන එක ප්‍රායෝගික නෙවේ වෙන්න පුළුවන්. ඒත් යම්කිසි මට්ටමක නිර්මාණයක් එයාලගෙන් බලාපොරොත්තු වෙනවා. අපිට ආපු නිර්මාණ වලින් වැඩි හරියක සාහිත්‍ය රසය කියන දේ ගොඩාක් දුරට අයින් වෙලා. ඇත්තටම දැන් ඉන්න නංගිලා මල්ලිලා සාහිත්‍යයෙන් ඈත් වෙලා තමයි කියන එක නම් අද නම් හුඟක්ම දැනුණා. ඒ  අයට උනන්දුව,කැපවීම තියනවා. ඒත් පොඩ්ඩක් හරි සාහිත්‍යය කියන දේ ඇඟට කා වද්දා ගත්තානම් කොච්චර හොදයි ද. 
අපි මෙහෙම කිව්වට තරඟකාරී අධ්‍යාපන රටාව කියන එක ඇතුලේ ඉදගෙන මෙච්චර දෙයක් හරි කෙරුවානේ කියලා හිතා හදා ගත්තා අන්තිමේට.

අපේ සමකය වටේ නලින් අයියාටත් ස්තුති කරන්න ඕනේ ගොඩාක්. මොකද මුලික වටයෙන් පස්සේපටන් ගන්න දෙවැනි වටය වෙනුවෙන් නලින් අයියා දීපු සහයෝගයමාරම වටිනවා.

Wednesday, November 6, 2013

නොකියපු කතාවක්


"වරම් නොමැතිව පා තබන්නට
වැඩ සිටින මළුව වෙත
නුඹේ ලේ නෑ පරපුරම
අකැප හින්දා පව්කාරකමට
පාර අද්දර නැවතිලා
නාදුනන මම සිටිමි
නුඹ, මා වගේ නොව
බැඳුම් අමතක කරනු බැරි
පුතෙක් වග සිහිකරන්...." 

වචනයෙන් කෑ ගසා
නොකිව්වට ඔය විදියට
අඳුරු වෙච්චි උඹේ මුහුණ
කියනවා හරි අපූරුවට
නුඹ නොකියපු ඒ කතාව


Saturday, October 19, 2013

තෙතමනය

        


ගිනි ගත්ත හිස් වලට වෛරයමඔඩු දුවපු
පිච්චිච්ච හිත් වලට රාගයමමුල් බැහැපු
සැනසෙන්න වැහි පොදක කුලුදුලෙන්එලි බැහැපු
ඉඩ දෙන්න මිනිසුනේ තෙත මනක් නොම දැකපු
  
බිඳෙන් බිඳ ඇද වැටෙන සවන් පතමත වහපු
කිකිණි හඩ දුර වැඩිද වැසි දියෙන් පැන නැගපු
වියළි බව ඉවතලා මොලොක් යැයිතෙත කවපු
පොළව දෙස එක වරක් යොමනු මැනනෙත වහපු
  
මුරුගසන් වරුසාව මෙය නොවේනුඹ අහපු
මුලු මහත් ලෝ තලය භීතියෙන් කැටි ගහපු
හදවතින් ගලා යන රුධිරයෙන් අත් විදපු
 සිසිලසක් විදගන්න පපු ගැබෙන්කෑ ගහපු

Tuesday, October 8, 2013

බුදුහු පුදට නුසුදුසු මල්

               
සුවඳ හමන මල් අතරෙහි මතුවතිබෙන්නේ
රතට හුරුව නිල් පැහයෙන් තමයි දිලෙන්නේ
කැකුළු පොඩිය හිස් අහසට නොවෙද ඇදෙන්නේ
පිපිණු පසුව නිල් මහනෙල් ලෙසට කියන්නේ
  
දිනක උදය හිරු එළියෙන් යසටපිපෙන්නේ
තවම එළඹ නැති එදිනට සිහින මවන්නේ
රුවට ඇදෙන ලොව උවදුරු නුඹව සොයන්නේ
පිපුණ පඳුර වත් නොසිතපු විටෙක සිඳින්නේ
  
ළපටි සිනිඳු මල් කැකුළත් පිපෙනු බලන්නේ
නියම දිනට පෙර අකලට පුබුදු කරන්නේ
නැවත කෙලෙස පොඩි කැකුළෙහි හැඩය ලබන්නේ
මලක උරුම ගැන කුමටද කඳුළු සලන්නේ
  
කැමති නොමැති වග කවුරුද විමස සිටින්නේ
දකින දකින අය සුවඳට හනික ඇදෙන්නේ
සිතට නැගෙන දුක ඉවතට ගලනු නොදෙන්නේ
බුදුහු පුදට මින් පසුනම් සුදුසු නොවන්නේ
  

Thursday, October 3, 2013

කළු සුදු කළු සහ පිවිතුරු



හුදෙකලාවේ සැරිසරන - මුවැත්තියක් නොවෙද නුඹ
රුදුරු ලෝකය කිසිත් නොතකන - නිදහසේ ඇවිද යන

අහිංසකකම යට කරන් - ලොව දුටුව ඒ ගැහැණු රුවවෙත
කැස කවයි සැමටම හොරා - බොළඳ රසයක් විද ගැනීමට

හසුව උගුලෙහි කුරිරු දෑතක  - ලැබුව පහසට සිත බැදුණු වග
රතුව ගිය කම්මුලට අමතක - නොවනු ඇත සිහි කරන් එය

සිහිය උපදන නුවණ හිමි උණ - දෙවිදු දහමට සිත සැදුන ඇය
අහිංසක ලෙස අයැද සිටි කල - වැසුණු නෙතු පට ගැලවුණාවද

අතරමන් වූ මුවැත්තිය ගැන - ළයෙහි සුපිපුණ ළබැඳි සෙනෙහස
අධම කාමේට යට නොවුණු වග - ඇවසි නැහැ හඩ ගා කියන්නට

තව දුරක් ඇත ඉතිරි වී ගිය - ඒ නමුදු මේ තමයි හැරවුම
යා හැකිව තිබියදී තව - ඇයිද ඉඩ දී යන්න තනියම

ගොදුරු සොයනා තවත් අපමණ - අයෙක් වසගෙට ගන්න ඉඩ ඇත
එහෙව් දෙයකට මුල් වුණා තොප - සුදු වසා ගත් කළුව යළි ලැබ

ඡායාරුපය- topyaps.com

Wednesday, September 18, 2013

මං පෙත අතර මඟ


ගලා යන  සැඩ පහර අතරෙම
ඇදී යමි  අරමුණක් නොමැතිව
තෙරක් නොපෙනෙන නිම්තෙරක් ගැන
කියන බස් සවනත රුවා.....

සිතේ ඉදිකළ මනෝ මන්දිර
ඉරි තැලී ගොස් මටත් නොකියාම
හෙට දිනය වෙත පය නගද්දී
ඉතිරි වන්නේ මං මුළාවද...?

අහිමි සිතුවිලි කෑ ගසයි අද
ලොව දකින්නට වරම් නොමැතිව
ලොවම සොයනා ජය ටැඹක් වෙත
පිය නගන්නේ යා යුතු නිසා

වෙලා ගත් ගනඳුරත් මැකිලා
ළහිරු  හිරු රැස් ලොව බලාවී
නාදුනන රළු  මාවතත් අද
සියුම් මඳහස ඉඟිකලා


Saturday, August 10, 2013

මගේ හිතට ප්‍රියමනාප


කදිමයි  
          නුඹ අද හරිම ලස්සනයි
මිහිරියි
          දැකුමට හරි ප්‍රියංකරයි
ලෝබයි
          නැති කරගන්න නොහැකිමයි
විසමයි
          එනමුදු නුඹට පෙම් කරයි
දුකමයි
          සැනසුම ළඟක නැති හැඩයි
බොළඳයි
          ඒ බව නොදැන ගත කරයි
කපටියි
         අඳ නෙත නොදැක ඉවත යයි
රවටයි
         මුදු බස සවන බැඳ තබයි
දැවටෙයි 
      පා යුග අසල වැද වැටෙයි
අහිමියි
        එය කිසි දිනක පිළි නොගයි
නුඹවෙයි
        මගේ බව කතර පිළිලයයි
හැරයයි
        එදිනට නුඹෙන් ගැලවුමයි

ඡායා රුපය - www.gruppi.chatta.it

Friday, July 26, 2013

අසරණයි කියා නොසිතන්න


අත්වාරු ගිලිහුණා
දෙපා සවි වියැකුණා
දිවි මගේ සියලු දෙය 
සදහටම හැර ගියා

එසේ සිතු සිත් වලට
සිනා මල් නැගේවා
හෙට දිනය ලබන විට
සොම්නසින් බලත්වා

අරුත් බර මිනිස්කම
කුමක් දැයි සොයන්නට
එක්ව බැදි සිත් දරණ
මිතුරු කැල එක්වුණා

වික්ටෝරියා නිවාසයේ නේවාසික රෝගීන් ට උපස්ථාන කිරීම මේ මස් ඉරු දින එනම් 4 වෙනිදා රාජගිරිය වික්ටෝරියා නිවාසයේදී පැවැත්වේ.

වික්ටෝරියා නිවාසය ගැන වැඩි දුර තොරතුරු මෙතනින්

වැඩි විස්තර ගැන දැන ගැනීමට මෙතනට යන්න.

Saturday, July 20, 2013

මුනිඳු පාමුල රැය පහන් කලෙමි


ඇසි දිසිය - මහා පින් බිම
ලොවේ සම්බුදු - නමට කැප කළ
සුවඳ කැටිකල - ධාතු ගර්භය
දෙවි වරුන් නිති - ආ ගියෝමය

එහෙව් පින් බිම මලින් සරසා
නොයෙක් වර්ණිත දාම පළදා
කළෙමි විසිතුර සොඳින් සකසා
වැද පුදන්නට බැතිය උපදා

මේ පුන් පොහෝ දා (2013-07-22) තෙක් පොල්ගහවෙල මහාමෙව්නාව  භාවනා අසපුවේ ඉදිකොට ඇති ශ්‍රී සම්බුද්ධ රාජ මාළිගයේ සුගන්ධ කුටිය නැරඹීමට පින් කැමති සියලු දෙනා සහභාගී වෙත්වා.


අළුයම් කාලයේ දී

ඉහළට විහිදී අභිමානවත් ශ්‍රී සම්බුද්ධ රාජ මාළිගය




ඉහත නිවේදනය ඇතුළු තවත් විස්තර හා ඡායාරූප මෙතනින්


Sunday, July 14, 2013

අවසන් මොහොත

මෙය "තෝටක" නම් විරිතෙන් ලිවීමට ගත් උත්සාහයකි

අවසන් මොහොතක් හැමටත් එනවා
මරුගෙන් පොඩිවත් බුරුලක් නැතිවා
නොමදත් මිනිසුන් මෙලෙසින් සිතුවා
අපිනම් දිවමන් වරමක් ලැබුවා

සිතකින් සිතුවත් එලෙසින් නොමනා
ඔහුටත් දිනයක් ඇවිදින් තියෙනා
නොසිතන් තමනුත් වෙසෙසක් ලෙසිනා
සැනසෙන් යහපත් කුසලෙන් සොබනා

කිසිවෙක් වෙරයෙන් කුසලක් කරනා
ගැහැටක් නොමවෙත් මරණෙන් විදිනා
හිසගත් බරුවක්  සැණෙකින් හෙළනා
විලසක් මවමින් සැපතක් ලැබෙනා

"ගජ" නම් සඳස, :තෝටක" විරිත
"ස" ගණ හතරක් සහිතව මාත්‍රා 16 ක් විය යුතුය.

ඡායාරුපය මෙතනින් ගත්තේ


Monday, July 8, 2013

නොසැලෙන බෝ හිමි


ලොවට උතුම් සම්බුදු හිමි
සිසිල විදපු නුඹේ සෙවණට
දස දහසක් සක්වළ තුල
සමකල හැකි යමක් නොමැත

නොමිනිස් තිරිසන් හමුවේත්
අකම්පිතව ලෝ දහමින්
බුදුහිමි ඉවසුව විලසින්
බලා සිටී අනිමිසයෙන්

මිහිතල කම්පා වූවත්
අසනි වැස්ස ඇද හැලුණත්
නොසැලෙන වජිරාසන ළඟ
වැජඹෙනු මැන හෙට දිනයෙත්

Saturday, June 29, 2013

නික්ම ගිය බුදු පුත්


එකුන්   සැත්තෑ  වියකි ආයු කප ගෙවෙන විට
එයින් අපමණ කලකි වෙන් කෙරුව  බඹසරට
නමින්   පතළව   දහම් රකින සේ    පරතෙරට 
බවුන්  වැඩි  හිමි ද අද   ඇඳක් මත   තනිකමට

සැදූ   ගෝලයන්     රැස වැඩ නිසා ඇවිත් නැත
ගමේ   දායක පිරිස    පෙර පරිදි හොදින් නැත
නිසා    හැදුනොත්    වරද පසුව එය සුදුසු නැත 
ගෙවා දිනකට මුදල උවැටනට කෙනෙක් ඇත

ගමේ  උන්   කෙනෙකුගේ අවසන එළැඹී විට 
නොවේ   හැරියේ මඟ  ඉඩ හැකිකම  තිබූ විට
එසේ   ගෙවූ   බුදු   පුතුන්   දිවි  අඟ දකින විට 
නැසේ   දම්  වදන්  බව   කතරේ     සරදමකට 

Sunday, June 23, 2013

පෙර දා මතකය


ඉලන්දාරියෙකි මහ ලොකු
කරදඩු උස් මහත් වෙච්ච
හෙට අනිද්දා රස්සාවක්
හොයා ගන්න උණත් ඇහැකි

ඇගට වාරු නැතිව ගිහින්
ලෙඩ ඇදටම වැටුනා නොවැ
ඉහ මොළ දෙපිටින් යන්නට
උණ ගත්තේ හරි හරියට

පුංචි කාලේ කල විදියට
එළිවෙන තුරු ළගින් ඉදන්
ඔඩිකොලොන් ඔලුවේ දමා
ආදරයෙන් පිරි මැද්දා

පොඩි කාලේ විදියටමයි
සිතේ තිබුණේ ඒ මතකෙයි
අමතක වෙන්නට කලියෙන්
ලියා තැබුවේ ඒ හින්දයි

Sunday, June 16, 2013

උයාගෙන කෑම


එහා පැත්තේ කාමරේ සෙට් එක එකතු වෙලා
හැමදාම හැන්දෑවට උයන කෑම සුවදට
හූල්ල හූල්ලා
හැමදාමත් වගේ දිය රහට 
කැන්ටිමේ කෑම එක 
ගිල දාන අපි,
අරුන්ගේ මහන්සියට කෙල ගිලින එක
අසාධාරණද කොයි තරම්.....


පින්තූරය:www.motherearthnews.com

Sunday, June 9, 2013

අමාරුවෙන් ගළපා ගතිමි


නිසි කාලය පිරෙන් නැතිව
එළියට ගන්නට නොහැකිය
මවගේ කුසේ රැදී සිටින
මොළකැටි වන් දරු පැටියව

අවුල් වලින් පිරිලා තියන
ගිණිගත් සිතුවිලි අරඹක
සිත නිවනා කවි පදවැල්
නැති වුයේ ඒ හින්දද

අමාරුවෙන් ලියා ගත්ත
මේ පද ටික හරි නැතිවට
සිත කියන්නේ හැකි විදියට
පුළුවන් කල් ඇදන් යන්න


Saturday, June 1, 2013

රතු පැහැති ලේන්සුව


ගුලි කරන් නුඹේ අත්ල මත
හොරෙන් ලං කරයි දෑස වෙත
එය පමණමයි දන්නේ 
ගලා ගිය කදුළු ගඟ
වෙන කිසිවෙකුත් නොවේ

මිතුරු කැළ මැදට වී
මවා ගත් සිනාව පෑ
නුඹේ වත මා බලා සිටියෙමි
මගේම සොයුරියක නිසා

සිනා පොද ගලන විටදිත්
නෙත් අගින් පැන නැගී
ගලා හැලෙන මේ 
තවත් එක් කදුළු බිංදුව
පිස දන්න ඉක්මනින්
ගුලි ගැහී තෙත් වුන
අතට තද කරන් ඔය 

රතු පැහැති ලේන්සුව
ඒ මැදින් ඉරි වැටුණු




Monday, May 27, 2013

මිතුදම


නොදුටු මිතුර 
නුඹේ ලෙන්ගතුකම
මහා මෙරක් තරම්
දැනෙනවා.
අවසරයි 
සදා කල්හිම 
මතක පොතෙහි
පිටු අතර රුවා ලීමට


හිතුවටත් වඩා සාර්ථක උනා වැඩේ. මෙච්චර කාලයක් ළගින් හිටපු ගොඩක් අය අදුන ගත්තා. උදව් කරපු හැමෝටම ස්තුතියි.

මේ ලිපිය බලන්න. මේ ලිපියත් කියවලාම යන්න

Thursday, May 16, 2013

කුරුණෑගලදී පැවැත්වෙන ෆේක් සාමාජිකයන්ගේ දන්සල..!!

ඔන්න අද නම් වෙනදා වගේ කවියක් ලියන්න නෙවෙයි හදන්නේ. මේ වෙසක් එකනේ. ඉතිං බුකියේ ඉන්න අපේ fake කට්ටියට හිතුණා දන්සලක් දුන්නොත් කොහොමද කියලා.


ඒත් කවදාවත් දැකලා නැති අයත් එක්ක වැඩේ කරගන්න පුලුවන්ද කියන බය තිබ්බා. මෙහෙම තමයි පටන් ගත්තේ වැඩේ. ඒත් අපි හිතුවාට වඩා කට්ටිය සෙට් උණා.
ඉතිං මුලින්ම කට්ටිය එකතු වෙලා event එකක් හදලා වැඩේ පටන් ගත්තා. පොඩ්ඩක් ගිහින් බලන්නකෝ. මුලින්ම කට්ටියම.

Sunday, May 12, 2013

වැසි දියවර


චයාරුපය http://oddessey2000.com 

අහස් කුසින් බට වැහි බිඳු
පෙරළි කරන හැටි බලන්න
මුතු කැට වැනි වතුර බිදිති
බොර පැහැ ඇයි මට කියන්න

තෙත බරි උණ මහ පොළවට
උහුලන්නට බැරි හින්දාද
වැටුන වැටුන හැම පොදක්ම
ගලා ගියේ එක හුස්මට

නාස් පුඩුව කිතිකවනා 
නැවුම් සුවඳ නැතිව ගිහින්
මඩ සුවදක් ඒ වෙනුවට
රිංගලා ඇයි තකහනියට

ඇඟේ රැදුන වැහි හිරිකඩ
පිසලන්නට ලෝබයි මට
නුඹ තුරුළේ උණුහුම වෙත
මං ඇදෙන්නේ ඒ හින්දාද






Monday, May 6, 2013

පැන්ඩෝරා නම් වූ ඇය

Jules Joseph LefebvrePandora, 1882

පහළ වූ දා නුඹ ලෝකයට
දඩුවමක් ලෙස අප වෙතට
හිසින් අරගෙන අනුනගේ දොස
නමින් පතළව "පළමු ගැහැණිය"

වැරදුණා මට වැරදුණා
නොවේ නුඹ නම් පළමු වැන්නිය
සදාතනිකව ලොව වසන්නිය
ලොවට මැවූ ඒ  කාම අග්නිය

විවර කල දා කුතුහලෙන්
අදුරු පැහැගත් මංජුසාවක
නැගී විසුරන සියලු සාපය
ලෝකයේ යහපතම වැනසුව

බැනුම් ඇසුවා එදා කල් සිට
හිර කරන් ඔය පපු ගැබේ
බලාපොරොත්තුවේ පුංචි සැනසුම

 අහෝ නුඹමයි
සදාතනිකම ගැහැණු චරිතය




Thursday, May 2, 2013

සැකය



    
අබැටක් තරම් පොඩිවට
මටත් නොකියාම ඇවිත් 
අදුරු මුල්ලම සොයා 
ලැගුම් ගෙන ඇත 
මගේ සිතේ

වියපු සළුවෙන් 
දෑස් අඳ කර
නුහුරටයි සියලු දෙය
දකින්නේ
ඇගේ සෙනෙහස 
පගා දමමින් 
කිමද නුඹ නැගෙනුයේ.

දිනෙන් දින සවිය ගෙන
මා පෙළා ලූ
නුඹයි පිළිලය
ඇගේ සෙනෙහස
මට අහිමි කළ

එම්බා
සැකය
අද දිනත් මා සිතන්නේ 
නුඹ නොවේ 
මම ද නොව 
ඇය වැරදි බව


Image was taken from: http://basyadeen.blogspot.com/

Sunday, April 28, 2013

තෙත වැඩිද දා බිදු.....?


හිස  මුදුන්            වෙවි
හිරු  තෙදින්          සැදි
දෙකොපුලින්        නැගි
ගලන දහදිය            එක්වුණා

කළ මිනුම්               මදි
අමතරෙන්             වැටි
දහදියෙන්            මෙහි
වතුර එකතුව          වැඩිවුණා

නොම කෙළෙන් තොපි
කිසි ලෙසින්         මෙහි
මිල කෙරුම්          බැරි
අමිල මෙහෙවර   කැපවෙනා

වැඩි කමෙන්          රැදි
ඇග ලෙයින්        හෙබි
තෙත කමින්        මෙහි
සවිය පිළිබද         සැකවුණා







Friday, April 26, 2013

දහස් ගව් දුර


දහස් ගව් දුර සසර ඉමි මැද
නිමක් නොදිටින ගමන නොනිමිද
පලක් නොදකින දිවිය පිළිබද
දුකක් නුබහට ගතිද පිළිසිද

නගන පියමග හිස් මුදුන් දී
හිනි පෙතම නුබ දරා සිටියදී
උපන් සෙනෙහස පපුව ගැබ දී
වුනිද  අමතක දුක් තැවුල් රැදී

පුතෙකි නුබ බුදු ළයෙහි සුපිපුන්
දරති අරහත් දජය සුගතින්
බලමි නුබ දෙස සතුටු සිතකින්
නුබයි විරු කල නොහැකි අවමන්

සොයමි තවමත් අරටු සැගවුන
පතුරු ගසමින් කෙසෙල් පදුරක
නොමැත වටහා පමා නැති බව
නුබ සෙවූ මග මටද හිමි වග


අවබෝධයෙන් යුතුවම ගිහි මගට සමුදුන් සොයුර නුබ වෙනුවෙන්

Wednesday, April 24, 2013

පෙම්වතියට වස පොවා සරසවි සිසුවා සියදිවි නසාගෙන



"මචං පජ්ජා මැරිලා......"
"පල යන්න බොරු නොකියා"
"බොරු නෙවේ බං සිරා,
කෙල්ලටත් වහ දීලා
මූත් විදගෙන ඒවාම"

"නෑ................"

"නෑ නෙවේ බං ඔව්
අන්න පත්තරෙත් දාලා,
"වස පොවා ..... මරා
...... සිසුවා දිවි නසාගෙන"
ඒ මදිවට ගොසිප් එකෙත්
දාලා තියනවා ලොකුවටම"

යකෝ අර අම්මයි තාත්තායි
කොහොමද ඉන්නේ ඉවසගෙන
දෙන්නම ගුරුවරුනේ
තමන්ගේ එකාවත්  හදා ගන්න බැරි
මහ ලොකු ගුරුවරු
එනවා මෙතන අපි හදන්න

කෙල්ලෝ ගැන හිතන්න කලින්
පොඩ්ඩක් තිබබා මුට හිතන්න
කන්ට දීපු අම්මයි තාත්තායි ගැන
ඉදකින්වත් කාලකන්නියා

තෝ කොහොමද අපිව දාලා ගියේ
කාටවත් වරදක් නැති උඹ
තවත් කෙනෙක් මරලා
උඹවත් මරාගෙන

ඒත්............

උඹේ මුණ වෙනදා වගේමයි
අර අහිංසක මුණමයි
කාටවත් කරදරයක් නැති
හෙමිට හිනාවෙලා බලපු

ඇයි බං උඹ මෙහෙම කලේ අපිට
එන ආත්මේකදී නම්
මෙහෙම වෙන්න එපා බං
අපිට බෑ දරාගෙන ඉන්න

Monday, April 22, 2013

නුබ දෙපල

   

     සැදෑ කල එළඹිලා
     මඳ අදුර පැතිරුනා
     දිනපතා පුරුදු ලෙස
     ඔබ දෙපල එක් වෙලා

     තුන් වසක් එක දිගට
     පෙර බවෙක පුරුද්දට
     එක්වෙනා ඔබ දෙපල 
     අද දිනත් දිටිමි මම


     පෙම් කරන අය දිටිමි
     පෙම් කරා හිත දනිමි
     එනමුදු නුබේ පෙම
     පුදුමයක් සේ දකිමි

     ගෙවෙන තුරු එක වසක්
          නුබ දෙපල සිටිනු ඇති
     ඉක්ම ගිය එම දිනත්
          වෙනතකම නොයනු ඇති
     නුබ දෙපළ දකින්නට
          ඒ අසල මමත් නැති
     මා මෙන්ම තවත් අය
          නුබට කවි කියනු ඇති

                හැම හැන්දෑවකම මුණ ගැසෙන කුරුළු යුවල, ඔබ දෙදෙනා ගැන මොකක් හරි ලියන්න ඕන කියලා හිතිලා ගොඩක් කල්. එකයි මේක ලියවුනේ. ඒත් දෙන්නගේ ඇත්තම රුපයක් දාන්න බෑ. මොකද එහෙම කලා නම් මට මේ ව්‍යාජ නාමයෙන් එලියට එන්න වෙනවා. ඒ ඔයාල දෙන්න ගැන දන්න අය අතරේ ඔයාලා ගොඩක් ජනප්‍රිය හින්දා

Saturday, April 20, 2013

පෙර මුසු


නිල වර්ණව දිලෙන වත රැදී
කොමල වැව අද නැතිවෙලාමද
හමන සුළගද පිරෙන තරමට
ධුලි පොදි මෙහි පැතිරුනාවද
ගලන නදියද ගොහොරු කරමින්
අසම කැබිලිති පා උනාවද
පරණ වනපොද හිතේ සුව රැදී
යලි නොඑන්නට සැග උනාවද

දියුණු කරනට අපේ ගම් මැද
තාර දැමුමට ගමේ පාරට
ළගම හදලා මෙහි ගෙනෙන්නට
හදපු කම්මල කොහේ යවන්නද

නමින් පෙර මුසුය
වර්ණයෙන් කලුය
තාර යහමින්ය
ගල් ද එලෙසමය

කඩන ගල් නදින් වනපොද ගිගුම් ගති
හමන දුහුවිලින් සුසුමද වෙවුල ගති
ගලන විස දියෙන් ජල කද තැවුල් වෙති
නොකර බැරි කමින් අපි වද   මරන් කති


මෙය අත්දකින ලද සත්‍ය සිදුවීමක් මත ලියා ඇත

Friday, April 19, 2013

අම්මා සඳකි




අහස් කුස පුරා ඇවිරුන පුංචි තරු මල් හිනැහෙමින්
වරක් කිමිදිලා පැතිරෙන සිනිදු රිදි වන් සද කැනින්
නිමක් නොපෙනෙනා සෙනෙහස සුපිපි හැගුමන් උන් නමින්
යලිත් සැනසුනා අබියස තරිදු සමවත් පිරි ගුනෙන්

තනිව දිලුමට වරම් නැතිවද ණයට ගත් මුදු දිස්නයෙන්
ලෙයෙහි ඉපදුන කුඩා උන් හෙට  නොයයි  කිසිවෙක් පසුපසින්
කුරිරි ලොවකට පැමිණි වරදට විදින දඩුවම් වැඩි බැවින්
ගොසින් දුරකට සයින් හැඩවෙන පුංචි පැටවුන් තනි කරන්

ගියත් ඒ සද නික්ම ඈතක තරු පොකුරු පොඩි තනි කරන්
බැන්ද සිත නැත ගොස් වියැක උන් නමට බැදි සෙනෙහසින්
නොයනන්ට පෙර වැඩි දිනක ආයිමත් සුපුරුදු කමින්
බලන් පෑල දිග අහස ඉම එය නැගී ඇත පෙර ලෙසින්





Wednesday, April 17, 2013

නින් නාද දී......




නින් නාද දී දස දිග දිගන්තේ
මල් දාම සේ පැතිරෙන සුගන්ධේ
ගිම්හාන නෑ ළග එන වසන්තේ
රන් සාර සේ මල් වැහි වහින්නේ

නිදිගත් ලොව අවදි කලා
දුප්පත් සිත උමතු කලා
තැතිගත් වත  එකලු කලා
මුසපත් මම වුනෙමි මුලා

කෝල හැගුම පසෙක හෙලා
නීල නෙතග බැල්ම බලා
සේල නොරද වටොර සලා
ආල කුසුම පුබුදු කලා 

උන්මාද සුව දැනුනා හිමිදිරියේ
සංසාර දුර වැඩුනා කඩිමුඩියේ
මං ගාව ඉගි කරනා  පෙම්බරියේ
සංකාව යලි නොයෙනා නුබ  දිවියේ

Sunday, April 14, 2013

අවුරුද්ද

ජාතියක් එක් කල දෙයක්
භේදයක් නැති හෙට දිනක්
සාමයක් සමගිය ගොඩක්
සා දෙයක් එය සත්තයක්

හිත පුරා ගිය සොම්නසක්
වත පුරා රැදී මදහසක්
ගත පුරා එන ශක්තියක්
ලක පුරා අද එක දෙයක්

පෙර කලක් සිට ආ දෙයක්
අද දිනත් නැත අඩු බවක්
පැවතුනොත් මෙහි ලක් රටක්
හෙට දිනත් සමරන දෙයක්

Friday, April 12, 2013

දැවෙනවා දැවෙනවා.....




නිමක් නැති ගිජු කමට ලොල් වී
මෝහයෙන් සිත අන්ද කර ගති
සිරුර එක් කුස උපන් අය වුව
රුදුරු වෙස් ගෙන පෙර නොවූ ලෙස

සොයනවා සොයනවා නොනවතා සොයනවා
සොයා සොයා බලනවා හදවතින් විදිනවා
කාමයේ දාහයට ලොබ කමින් සොයනවා
මිනිස් ගුණ දා ඉවත ලා තව තවත් සොයනවා

සොයන විට යම් දෙයක්
ලොබ කරන් හිත දැඩිව
සිත තුලින් සැදෙනුයේ
දැවිල්ලය නපුරු ලෙස

දැවෙන කල රාගයෙන්
දැවෙන කල ද්වේශයෙන්
දැවෙන කල මෝහයෙන්
පලක් නැත ඒ සිතින්

සිත පුරා දාහයෙන් පිලිස්සී යන කලෙක
කෙලස ඇතිවේද මුදිත මෙත් ගුණ
සසර දුර ඇති බවයේ කෙළවර
ළග නොවේ එය තවත් බොහෝ දුර

Wednesday, April 10, 2013

නිමල සිත



නොනවතින කිසිදිනක
ගලායන මිනිස් සිත
එක්වරක් නවතන්න
නිමල සුව විදගන්න

රිදුම් දෙන විටින් විට
ඉකිගසා හඩන සිත
සොම්නසින් ඉපිලිලා
ආයිමත් පිබිදිලා

පෙර බවෙක කල් ගෙවුන
මුනිවරක කල ලෙසට
යම් දිනෙක මා හටද
සමාධිය අත ලගද

මට අවැසි මා ගැනම
දැක ගන්න යම් දිනක
බුදු හිමිද පැවසූ ලෙස
කිසි දෙයක් අඩු නැතිව


Tuesday, April 9, 2013

කවිකම් උගත්තෙමි


අතින් අත තද කෙරුව
පාට ගා හැඩ කෙරුව
මැටි පිඩක රූ මවන
විසුරුවන් දිටිමි මම

ඒ මගට ලොබ කලෙමි
හැකි ලෙසට පා තැබිමි
යන අතක් ගැන නොසිතා
පාව යන අත ගියෙමි

මුලින් මුල අගින් අග
පද පෙළක් බිදෙන තැන
එක ලෙසට ගලා යන
එළිසමය සිත දැරීමි

ලියන්නට නොයාපන්
ලියවෙන්න ඉඩ දියන්
සිතේ රැදී තාලයට
ගලන්නට අවැසි නම්

කලෙමි මම ඒ බසම
ඔරුව පැද යන හබල
ණය ගැතිය සදාකල්
සුළග නොනිම් සත්සරය

කෝඩු කාරකම



හදවතින් ගලා එන 
සෝ සුසුම් අඩහැරය
හමා එන මද සුළගේ
සෙමින් පා කරන්නට.....



හිත්කොනෙන් මෝදුවන
ගත පුරා කිති කවන
ගීතමය සත්සරය
වියැකිලා නොයන්නට......

විදින්නට අවැසි කල

අත් දුටුව දිවි ගමන
උදා වූ මතු දිනක
පෙරලලා බලන්නට.....

කිසි දිනක නොකළ සේ
ගලපලා පද වැලක
අරුත්බර ඇරඹුමක්
නොවටීනා දිවි පෙතට.