Sunday, April 28, 2013

තෙත වැඩිද දා බිදු.....?


හිස  මුදුන්            වෙවි
හිරු  තෙදින්          සැදි
දෙකොපුලින්        නැගි
ගලන දහදිය            එක්වුණා

කළ මිනුම්               මදි
අමතරෙන්             වැටි
දහදියෙන්            මෙහි
වතුර එකතුව          වැඩිවුණා

නොම කෙළෙන් තොපි
කිසි ලෙසින්         මෙහි
මිල කෙරුම්          බැරි
අමිල මෙහෙවර   කැපවෙනා

වැඩි කමෙන්          රැදි
ඇග ලෙයින්        හෙබි
තෙත කමින්        මෙහි
සවිය පිළිබද         සැකවුණා







Friday, April 26, 2013

දහස් ගව් දුර


දහස් ගව් දුර සසර ඉමි මැද
නිමක් නොදිටින ගමන නොනිමිද
පලක් නොදකින දිවිය පිළිබද
දුකක් නුබහට ගතිද පිළිසිද

නගන පියමග හිස් මුදුන් දී
හිනි පෙතම නුබ දරා සිටියදී
උපන් සෙනෙහස පපුව ගැබ දී
වුනිද  අමතක දුක් තැවුල් රැදී

පුතෙකි නුබ බුදු ළයෙහි සුපිපුන්
දරති අරහත් දජය සුගතින්
බලමි නුබ දෙස සතුටු සිතකින්
නුබයි විරු කල නොහැකි අවමන්

සොයමි තවමත් අරටු සැගවුන
පතුරු ගසමින් කෙසෙල් පදුරක
නොමැත වටහා පමා නැති බව
නුබ සෙවූ මග මටද හිමි වග


අවබෝධයෙන් යුතුවම ගිහි මගට සමුදුන් සොයුර නුබ වෙනුවෙන්

Wednesday, April 24, 2013

පෙම්වතියට වස පොවා සරසවි සිසුවා සියදිවි නසාගෙන



"මචං පජ්ජා මැරිලා......"
"පල යන්න බොරු නොකියා"
"බොරු නෙවේ බං සිරා,
කෙල්ලටත් වහ දීලා
මූත් විදගෙන ඒවාම"

"නෑ................"

"නෑ නෙවේ බං ඔව්
අන්න පත්තරෙත් දාලා,
"වස පොවා ..... මරා
...... සිසුවා දිවි නසාගෙන"
ඒ මදිවට ගොසිප් එකෙත්
දාලා තියනවා ලොකුවටම"

යකෝ අර අම්මයි තාත්තායි
කොහොමද ඉන්නේ ඉවසගෙන
දෙන්නම ගුරුවරුනේ
තමන්ගේ එකාවත්  හදා ගන්න බැරි
මහ ලොකු ගුරුවරු
එනවා මෙතන අපි හදන්න

කෙල්ලෝ ගැන හිතන්න කලින්
පොඩ්ඩක් තිබබා මුට හිතන්න
කන්ට දීපු අම්මයි තාත්තායි ගැන
ඉදකින්වත් කාලකන්නියා

තෝ කොහොමද අපිව දාලා ගියේ
කාටවත් වරදක් නැති උඹ
තවත් කෙනෙක් මරලා
උඹවත් මරාගෙන

ඒත්............

උඹේ මුණ වෙනදා වගේමයි
අර අහිංසක මුණමයි
කාටවත් කරදරයක් නැති
හෙමිට හිනාවෙලා බලපු

ඇයි බං උඹ මෙහෙම කලේ අපිට
එන ආත්මේකදී නම්
මෙහෙම වෙන්න එපා බං
අපිට බෑ දරාගෙන ඉන්න

Monday, April 22, 2013

නුබ දෙපල

   

     සැදෑ කල එළඹිලා
     මඳ අදුර පැතිරුනා
     දිනපතා පුරුදු ලෙස
     ඔබ දෙපල එක් වෙලා

     තුන් වසක් එක දිගට
     පෙර බවෙක පුරුද්දට
     එක්වෙනා ඔබ දෙපල 
     අද දිනත් දිටිමි මම


     පෙම් කරන අය දිටිමි
     පෙම් කරා හිත දනිමි
     එනමුදු නුබේ පෙම
     පුදුමයක් සේ දකිමි

     ගෙවෙන තුරු එක වසක්
          නුබ දෙපල සිටිනු ඇති
     ඉක්ම ගිය එම දිනත්
          වෙනතකම නොයනු ඇති
     නුබ දෙපළ දකින්නට
          ඒ අසල මමත් නැති
     මා මෙන්ම තවත් අය
          නුබට කවි කියනු ඇති

                හැම හැන්දෑවකම මුණ ගැසෙන කුරුළු යුවල, ඔබ දෙදෙනා ගැන මොකක් හරි ලියන්න ඕන කියලා හිතිලා ගොඩක් කල්. එකයි මේක ලියවුනේ. ඒත් දෙන්නගේ ඇත්තම රුපයක් දාන්න බෑ. මොකද එහෙම කලා නම් මට මේ ව්‍යාජ නාමයෙන් එලියට එන්න වෙනවා. ඒ ඔයාල දෙන්න ගැන දන්න අය අතරේ ඔයාලා ගොඩක් ජනප්‍රිය හින්දා

Saturday, April 20, 2013

පෙර මුසු


නිල වර්ණව දිලෙන වත රැදී
කොමල වැව අද නැතිවෙලාමද
හමන සුළගද පිරෙන තරමට
ධුලි පොදි මෙහි පැතිරුනාවද
ගලන නදියද ගොහොරු කරමින්
අසම කැබිලිති පා උනාවද
පරණ වනපොද හිතේ සුව රැදී
යලි නොඑන්නට සැග උනාවද

දියුණු කරනට අපේ ගම් මැද
තාර දැමුමට ගමේ පාරට
ළගම හදලා මෙහි ගෙනෙන්නට
හදපු කම්මල කොහේ යවන්නද

නමින් පෙර මුසුය
වර්ණයෙන් කලුය
තාර යහමින්ය
ගල් ද එලෙසමය

කඩන ගල් නදින් වනපොද ගිගුම් ගති
හමන දුහුවිලින් සුසුමද වෙවුල ගති
ගලන විස දියෙන් ජල කද තැවුල් වෙති
නොකර බැරි කමින් අපි වද   මරන් කති


මෙය අත්දකින ලද සත්‍ය සිදුවීමක් මත ලියා ඇත

Friday, April 19, 2013

අම්මා සඳකි




අහස් කුස පුරා ඇවිරුන පුංචි තරු මල් හිනැහෙමින්
වරක් කිමිදිලා පැතිරෙන සිනිදු රිදි වන් සද කැනින්
නිමක් නොපෙනෙනා සෙනෙහස සුපිපි හැගුමන් උන් නමින්
යලිත් සැනසුනා අබියස තරිදු සමවත් පිරි ගුනෙන්

තනිව දිලුමට වරම් නැතිවද ණයට ගත් මුදු දිස්නයෙන්
ලෙයෙහි ඉපදුන කුඩා උන් හෙට  නොයයි  කිසිවෙක් පසුපසින්
කුරිරි ලොවකට පැමිණි වරදට විදින දඩුවම් වැඩි බැවින්
ගොසින් දුරකට සයින් හැඩවෙන පුංචි පැටවුන් තනි කරන්

ගියත් ඒ සද නික්ම ඈතක තරු පොකුරු පොඩි තනි කරන්
බැන්ද සිත නැත ගොස් වියැක උන් නමට බැදි සෙනෙහසින්
නොයනන්ට පෙර වැඩි දිනක ආයිමත් සුපුරුදු කමින්
බලන් පෑල දිග අහස ඉම එය නැගී ඇත පෙර ලෙසින්





Wednesday, April 17, 2013

නින් නාද දී......




නින් නාද දී දස දිග දිගන්තේ
මල් දාම සේ පැතිරෙන සුගන්ධේ
ගිම්හාන නෑ ළග එන වසන්තේ
රන් සාර සේ මල් වැහි වහින්නේ

නිදිගත් ලොව අවදි කලා
දුප්පත් සිත උමතු කලා
තැතිගත් වත  එකලු කලා
මුසපත් මම වුනෙමි මුලා

කෝල හැගුම පසෙක හෙලා
නීල නෙතග බැල්ම බලා
සේල නොරද වටොර සලා
ආල කුසුම පුබුදු කලා 

උන්මාද සුව දැනුනා හිමිදිරියේ
සංසාර දුර වැඩුනා කඩිමුඩියේ
මං ගාව ඉගි කරනා  පෙම්බරියේ
සංකාව යලි නොයෙනා නුබ  දිවියේ

Sunday, April 14, 2013

අවුරුද්ද

ජාතියක් එක් කල දෙයක්
භේදයක් නැති හෙට දිනක්
සාමයක් සමගිය ගොඩක්
සා දෙයක් එය සත්තයක්

හිත පුරා ගිය සොම්නසක්
වත පුරා රැදී මදහසක්
ගත පුරා එන ශක්තියක්
ලක පුරා අද එක දෙයක්

පෙර කලක් සිට ආ දෙයක්
අද දිනත් නැත අඩු බවක්
පැවතුනොත් මෙහි ලක් රටක්
හෙට දිනත් සමරන දෙයක්

Friday, April 12, 2013

දැවෙනවා දැවෙනවා.....




නිමක් නැති ගිජු කමට ලොල් වී
මෝහයෙන් සිත අන්ද කර ගති
සිරුර එක් කුස උපන් අය වුව
රුදුරු වෙස් ගෙන පෙර නොවූ ලෙස

සොයනවා සොයනවා නොනවතා සොයනවා
සොයා සොයා බලනවා හදවතින් විදිනවා
කාමයේ දාහයට ලොබ කමින් සොයනවා
මිනිස් ගුණ දා ඉවත ලා තව තවත් සොයනවා

සොයන විට යම් දෙයක්
ලොබ කරන් හිත දැඩිව
සිත තුලින් සැදෙනුයේ
දැවිල්ලය නපුරු ලෙස

දැවෙන කල රාගයෙන්
දැවෙන කල ද්වේශයෙන්
දැවෙන කල මෝහයෙන්
පලක් නැත ඒ සිතින්

සිත පුරා දාහයෙන් පිලිස්සී යන කලෙක
කෙලස ඇතිවේද මුදිත මෙත් ගුණ
සසර දුර ඇති බවයේ කෙළවර
ළග නොවේ එය තවත් බොහෝ දුර

Wednesday, April 10, 2013

නිමල සිත



නොනවතින කිසිදිනක
ගලායන මිනිස් සිත
එක්වරක් නවතන්න
නිමල සුව විදගන්න

රිදුම් දෙන විටින් විට
ඉකිගසා හඩන සිත
සොම්නසින් ඉපිලිලා
ආයිමත් පිබිදිලා

පෙර බවෙක කල් ගෙවුන
මුනිවරක කල ලෙසට
යම් දිනෙක මා හටද
සමාධිය අත ලගද

මට අවැසි මා ගැනම
දැක ගන්න යම් දිනක
බුදු හිමිද පැවසූ ලෙස
කිසි දෙයක් අඩු නැතිව


Tuesday, April 9, 2013

කවිකම් උගත්තෙමි


අතින් අත තද කෙරුව
පාට ගා හැඩ කෙරුව
මැටි පිඩක රූ මවන
විසුරුවන් දිටිමි මම

ඒ මගට ලොබ කලෙමි
හැකි ලෙසට පා තැබිමි
යන අතක් ගැන නොසිතා
පාව යන අත ගියෙමි

මුලින් මුල අගින් අග
පද පෙළක් බිදෙන තැන
එක ලෙසට ගලා යන
එළිසමය සිත දැරීමි

ලියන්නට නොයාපන්
ලියවෙන්න ඉඩ දියන්
සිතේ රැදී තාලයට
ගලන්නට අවැසි නම්

කලෙමි මම ඒ බසම
ඔරුව පැද යන හබල
ණය ගැතිය සදාකල්
සුළග නොනිම් සත්සරය

කෝඩු කාරකම



හදවතින් ගලා එන 
සෝ සුසුම් අඩහැරය
හමා එන මද සුළගේ
සෙමින් පා කරන්නට.....



හිත්කොනෙන් මෝදුවන
ගත පුරා කිති කවන
ගීතමය සත්සරය
වියැකිලා නොයන්නට......

විදින්නට අවැසි කල

අත් දුටුව දිවි ගමන
උදා වූ මතු දිනක
පෙරලලා බලන්නට.....

කිසි දිනක නොකළ සේ
ගලපලා පද වැලක
අරුත්බර ඇරඹුමක්
නොවටීනා දිවි පෙතට.