Thursday, December 26, 2013

සළෙලු සිතක් ...?


හිරු නැඟ එන හිමිදිරියක - ඒ එළියට වැඩිය දිලෙන 
නුඹේ මුහුණේ මල් හිනාව - නුඹට හොරෙන් රස වින්දාට 

පිච්ච මලේ සුවඳ කවපු - අත යට ගුලි කරන් හිටපු 
ලේන්සු පොඩියේ සුවඳත් - නුඹට හොරෙන් විඳ ගත්තාට 

සෙනඟ පිරුණු  බස් රථයේ - කාටවත්ම නොදැනෙන ලෙස 
ඇඟිලි තුඩින් නුඹට හොරා - නිල් වරලස පිරි මැද්දාට 

ඇසුරු සැණෙන් ළඟට ඇවිත් - ඇසිපියවර ගහන තරම් 
පුංචිම පොඩි කාලයකට - නුඹේ උණුහුම අර ගත්තාට 

කවදාවත් සිතුවේ නෑ - සීමා මායිම් බිදින්න
 එහෙව් කෙනෙක් ළඟ තියෙයිද - සළෙලු සිතක් සැඟවීගෙන

Sunday, December 22, 2013

සොඳුරුතම මතකයක්

සොඳුරු රළ විත් - වෙරළ පොවනා
ගැඹුරු දියඹත් - අහස සිඹිනා
හමන සුළඟත් - සිසිල සදනා
මිහිරි මොහොතක් - මතක රැදෙනා

බැදුණු සැම සිත් - ඔකඳ කරනා
නැගුණු සොම්නස් - සිනහ පිරෙනා
කවට කෙලිබස් - සවන රුවනා
සිතැඟි දහසක් - උදා කෙරුණා

මෙලෙස නැවතත් - එක්ව විදිනා
දිනය එනතෙක් - ඇඟිලි ගනිනා
කෙනෙකු නොවෙතොත් - පුදුම සිතෙනා
අසිරි දුටුවෙම් - සෙනෙහෙ ගලනා


ඇත්තටම පුදුමාකාර විදියට සතුටු උණ දිනයක්. 
පින්තූරය හොරෙන් උස්සපු එකක් හැබැයි

Sunday, December 8, 2013

ගිහින් එන්නම්


කළුවර පිරුණු රෑ
දුර දැකපු පහන් ටැඹ
එළඹිලා අවසන
අත පොවන මානයට

කලයුතු හුඟක් දෑ
ගොඩ ගැහී කප්පරක්
සිතත් හිරි වැටිලා
හැරයන්න වෙන නිසා

ඉසිඹුවක් ලදහොත්
ගොඩවදින අදිටනින්
මම ඇදෙමි පසුපස
නිකිණි හීනය සොයා

ප/ලි 
හුස්ම ගන්නවත් අමාරු තරමට වැඩ. උදේ පැයයි, හැන්දෑවේ පැයයි රෑ පැය දෙකක් විතර බ්ලොග් එකටයි, බුකියටයි එන කාලය ටික දවසකට නවත්තන්න වෙනවා. නැත්තම් ඕන දේ කරගත්තේ නෑ කියලා ගෙදරින් අහගන්න වෙනවා නේ. අඩු ගානේ රිසච් එක ඉවර කරගත්තට වත් පස්සේ තමයි මේ පැත්ත දිහා ඇහැක් හරවන්න පුළුවන්. එතකන් ගිහින් එන්නම්.
වැරදුණා 21දට හම්බෙන්න පුළුවන්නේ

ප/ප/ලි
පාදයක මාත්‍රා 9,10,9,10 වෙන විදියට මුලු මාත්‍රා ගණන 38 වෙච්ච උමතු ගී විරිත තමයි මේ. එළිසමය ඕන නෑ. ලස්සන නම් පොඩ්ඩක් අඩුයි. කොහොමත් මේ වගේ පිස්සුවෙන් දොඩවන්න ගන්න පුළුවන් හින්දා වෙන්න ඇති මේ නම එන්න ඇත්තේ

Sunday, December 1, 2013

බිදුණු මහ රුක

 
වෙළුණු ලිය වැල - වැතිර තුරු හිස -  ළහිරු  කිරණට  -  කඩුලු බදිනා
විහඟ කැළ නැගු - නාද මිහිරිය - නිහඩ බව බිඳ - සවන තෙමනා
සිහින උපදින - අරුම  විජිතය - දෙවි ලොවට යළි - නොයන ලෙසිනා
දුරක පැතිරුණු  - විල් තෙරක් මත - මැවුණු මහ රුක- සෙවණ සදනා

වරෙක හිනැහුණ - ලොවම මොහොතක - අඳුර අබියස - බියෙන් වැටුණා
නෙතඟ කෙළවර - මතුව මුතු කැට - හමන සුළගට - මුහුව සැලුණා
කොපුල් අතරින් - වැටෙන වැසි දිය - ඕලු සියපත් - මතට හෙළුණා
නොරද බිඳු බිඳු - එකට එක් වී - බොර දියෙහි රූ - රටා ඇදුණා

හෙළන සුසුමද - රුහිර  මිරිකා - සුරැකි මතකය - ඉවත අදිනා
නපුරු  විසකුරු -  කුරිරු  කාමය  - කුමකටද තොප - මෙලෙස කරනා
බැඳුන ලියවැල -  බොහෝ කල් සිට - වෙන්ව ඉවතට - කඩා හැලුණා
නිසල මහ රුක - තිබුණු තැන නැත - සැඩ සුළඟ ළඟ - ඉදිරි වැටුණා

ළබැඳි අරුණැල්  - අහස පැතිරුණු   -  නව දිනය යළි - පැමිණ තිබෙනා
පියවි ඇස මත - නොදැක මහරුක - කොහේ සැඟවිද - සොයා බලනා
වැටුණු තැන්වල - පසට යටවුණ - අතු රිකිලි මිස - කිසිත් නොවනා
රිදුණු හද තුළ - වැළලි නොයනට - සදාකල්හිම - මතක තිබුණා

          සඳස් කවිය කියන්නේ සිංහල සාහිත්‍යයේ මුදුන් මල් කඩ වගේ. ඒ සඳස් කවිය ලස්සන රටා වලින් පිරුණ තැනක්. ඒ ලස්සන රටා වලට කියන්නේ විරිත් කියලා. ඒ රටා අතුරින් ගොඩාක්ම ලස්සන රටාවක් තමයි "පුණු අතිපුණු විරිත". එක පේළියක මාත්‍රා 28 ක් විදියට ලියවෙන මේ රටාව අනිත් රටා අතරින් වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ එකේ තියන ළයාන්විත බව, සුගානීය බව හින්දමයි