Sunday, December 1, 2013

බිදුණු මහ රුක

 
වෙළුණු ලිය වැල - වැතිර තුරු හිස -  ළහිරු  කිරණට  -  කඩුලු බදිනා
විහඟ කැළ නැගු - නාද මිහිරිය - නිහඩ බව බිඳ - සවන තෙමනා
සිහින උපදින - අරුම  විජිතය - දෙවි ලොවට යළි - නොයන ලෙසිනා
දුරක පැතිරුණු  - විල් තෙරක් මත - මැවුණු මහ රුක- සෙවණ සදනා

වරෙක හිනැහුණ - ලොවම මොහොතක - අඳුර අබියස - බියෙන් වැටුණා
නෙතඟ කෙළවර - මතුව මුතු කැට - හමන සුළගට - මුහුව සැලුණා
කොපුල් අතරින් - වැටෙන වැසි දිය - ඕලු සියපත් - මතට හෙළුණා
නොරද බිඳු බිඳු - එකට එක් වී - බොර දියෙහි රූ - රටා ඇදුණා

හෙළන සුසුමද - රුහිර  මිරිකා - සුරැකි මතකය - ඉවත අදිනා
නපුරු  විසකුරු -  කුරිරු  කාමය  - කුමකටද තොප - මෙලෙස කරනා
බැඳුන ලියවැල -  බොහෝ කල් සිට - වෙන්ව ඉවතට - කඩා හැලුණා
නිසල මහ රුක - තිබුණු තැන නැත - සැඩ සුළඟ ළඟ - ඉදිරි වැටුණා

ළබැඳි අරුණැල්  - අහස පැතිරුණු   -  නව දිනය යළි - පැමිණ තිබෙනා
පියවි ඇස මත - නොදැක මහරුක - කොහේ සැඟවිද - සොයා බලනා
වැටුණු තැන්වල - පසට යටවුණ - අතු රිකිලි මිස - කිසිත් නොවනා
රිදුණු හද තුළ - වැළලි නොයනට - සදාකල්හිම - මතක තිබුණා

          සඳස් කවිය කියන්නේ සිංහල සාහිත්‍යයේ මුදුන් මල් කඩ වගේ. ඒ සඳස් කවිය ලස්සන රටා වලින් පිරුණ තැනක්. ඒ ලස්සන රටා වලට කියන්නේ විරිත් කියලා. ඒ රටා අතුරින් ගොඩාක්ම ලස්සන රටාවක් තමයි "පුණු අතිපුණු විරිත". එක පේළියක මාත්‍රා 28 ක් විදියට ලියවෙන මේ රටාව අනිත් රටා අතරින් වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ එකේ තියන ළයාන්විත බව, සුගානීය බව හින්දමයි

34 comments:

  1. මර්ලින් මල්ලිගේ කවි පන්තියේදී ඉගෙනගත්ත විදියට මාත්‍රා ගැනලා ,, යවහන් දෝශ බලලා එහෙම තමයි මේ කොමෙන්ට් කරන්නේ හොදේ :) ලියන්න ආස හිතෙනවා පුමෝ මේවා දැක්කම

    ReplyDelete
    Replies
    1. ඇත්තට අපු ආවා නේද අපේ කවි ගැන කතා කරපු ඒවාට

      Delete
    2. ඔව් වැඩ අස්සේ කොහොම කොහොම හරි ඔක්කොටම සෙට් වුණා..ඒත් මං පෙරේද තමයි ඉගෙනගත්තේ අන්තිම අකුරට කලින් අකුර පද පේලි 4 ම සමාන නම් ය ව හ න් දොශේ මැකෙනවා කියලා ,,
      ඔයා ගොඩක් දක්ෂයි ,

      Delete
    3. සතුටුයි අපු ඔයාගේ උනන්දුව ගැන. ඔව් ඒක හරි, අවසාන අකුර ය ව හ න් යන ඒවාගෙන් එකක් උනොත් එළිසමය තියන්නේ ඊට කලින් අකුරෙන්

      Delete
  2. අමුතු ලස්සනක් තියෙන කවි පද
    නියමයි!!!

    ReplyDelete
  3. එළ කිරි.. නිකං රැප් සින්දුවක් වගේ..

    ReplyDelete
    Replies
    1. රැප් නම් එහෙමයි, ක්ලැසික් නම් එහෙමයි ඕන්

      Delete
  4. පුමාගේ බ්ලෝග දැන් කවි උගන්වන පන්තියක් වගේ...හැබෑවටම යමක් ඉගෙන ගත්තා. මේ කවිය කියන විදිහ පොඩි සවුන්ඩ් ක්ලිප් එකක් දැම්මනම් හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. මගේ කටහඩ අන්තිමයි ඉවාන් අයියේ. නැතිනම් දාන්න තිබබා. ඒත් මහා ලොකු දෙයක් නෑ, ටිකක් වේගයෙන් ගලාගෙන යනවා ඉරි කෑලි තියන තැන්වල පොඩ්ඩක් නවත්තලා අවසානයට තියන "නා" අකුර විතරක් ඇදෙනවා.
      මමත් තාම ඉගෙන ගන්නවා. ඉතිං ඒවා අත්හදා බලන්නේ මෙතනින්

      Delete
  5. මෙහෙම එකක් මම ඇහැව්වමයි..ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මේක එච්චරම දුර්ලබ විරිතක් නෙවෙයි අයියේ. ගොඩාක් පරණ කවි පොත් වල තියනවා. ලෝ වැඩ සඟරාවේ එහෙම අවසාන කවි ටික යන්නේ මේ විරිතෙන්

      Delete
  6. කවි ටික හරිම ලස්සණ යි, අයියේ. අද තමයි මේ විරිත ගැන දැන ගත්තේ. හුඟක් ම ප්‍රසිද්ධ "සමුද්‍රඝෝෂ" විරිතනේ. හැබැයි, ඊට වඩා මේක හිතට වැදෙනවා. උත්සාහයක් දාල බලන්න ඕනේ මේක පාවිච්චියට ගන්න.

    ReplyDelete
  7. මෑත කාලීනව ගොඩාක් කවි ලියවෙලා තියන්නේ සමුද්‍ර ඝෝෂ විරිතෙන්. හැබැයි පරණ කවි පොත් බලන්නකෝ මේ විරිත් තමයි තියෙන්නේ. අනිවා ලියන්න. ගොඩාක් ලේසියි

    ReplyDelete
  8. අඩේ සිරා බං.. මේ විරිතේ කවි මට එච්චරම ඇහැ ගැටිලා නම් නැහැ.. ලියලත් නැහැ..

    ඇත්තම කිවුවොත් මේක තියා වෙන කොයිම විදිහක එකක් වත් ලිවුවේ නැහැනේ අවුරුද්දකින් විතර.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. එහෙනම් හෙට අනිද්දා දිහාට අපිට බලා ගන්න පුළුවන් වෙයි නේද?

      Delete
  9. මමත් සඳැස් කවි වලට බොහෝ කැමති කෙනෙක්. මේ ආකාරයෙන් ගැයෙන කවි අහලා තිබුණත්, මේ විරිතේ නම දැනගෙන හිටියේ නැහැ. විරිත විතරක් නෙමෙයි, කවියත් හරිම ඉහලයි.

    කවිබණ, තොරණ විස්තර එහෙම මේ විරිතෙන් ගැයෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. සමහරක් වෙලාවට කවි බණ වලට මේ විරිත ගන්නවා තමයි. ඒත් බහුල වශයෙන් ගන්නේ මාත්‍රා 18 විරිත. සමහරක් වෙලාවට මාත්‍රා 16 ඒවත් ගන්නවා

      Delete
  10. කවි රස විදින්න පුලුවන්.නමුත් මේ තරම් දේවල් දන්නේ නැහැ.අගෙයි පුමා.

    ReplyDelete
    Replies
    1. ඒ හැටි දෙයක් අපිත් දන්නේ නෑ අයියේ. යාන්තමින් ඉගෙන ගන්නවා විතරයි

      Delete
  11. හරි ම ලස්සණ යි පුම මලයෝ. අපෙන් ඈත් වෙලා යන මේ වගේ දේවල් මේ විදිහට නැවත මතු කරල ගන්න එක වටිනවා.

    ReplyDelete
    Replies
    1. දැන් දැන් අන්තර් ජාලයත් එක්ක මේවා ආපහු අපි අතරට එනවා දිලිනි අක්කේ

      Delete
  12. කවි ගැන නම් මං මොකුත් දන්නෙ නෑ. කවි ලියද්දි විරිත් බැලීමක් සිදුවෙනවද කියන්න දන්නෙත් නෑ. දැන් බලනකොට කවියක් ලියන්නත් විරිතක් තියෙනවා ද? අනේ මන්දා කවි ගැන නම් මගේ දැනුම නිල්. හැබැයි රසවිඳින්න පුළුවන්. මල්ලිගෙ මේ කවියත් ඒ වගේමයි. ඔයා පත්තරවලට ලියන්නේ නැද්ද.? මෙතරම් ලස්සන නිර්මාණයක් රෑප් එකක මට්ටමට දාලා කතා කිරීම නම් වැරදියි. නිර්මාණශීලීත්වය තුලින් පුද්ගලයෙකු හඳුනාගන්න පුළුවන්. මල්ලිලා වගේ තරුණයෝ තමයි අද සමාජෙට අවශ්ය . සුබ අනාගතයකට, සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. blog එකේයි fb එකේ ඇත්ත එකෙයි fake එකෙයි විතරයි අක්කේ ලියන්නේ. තාම වෙන තැනක නම් ලියලා නෑ
      මම හිතන්නේ අරක පොඩි විහිළුවක් විතරක් වෙන්න ඇති අක්කේ

      Delete
    2. කවි ලියන්න ගොඩක් විරිත් තියනවා. එතකොට තමයි ලස්සන

      Delete
  13. සිතුණු දේ පැවසීමට වදන් ගොනු නොවේ. එතරම් අපූරුයි.

    වචනයේ අර්ථයෙන්ම අනර්ඝයි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි නංගි

      Delete
  14. එදා හයිකු....අද තවත් දෙයක්..........උඹ පොරක් පූමා....අගයමි!!!!!

    ReplyDelete
    Replies
    1. පිස්සුද අරු අයියේ? තවම මේ පොඩි එකා. අහුලගත්ත කෑලි වලින් දෙයක් ගැට ගහ ගන්නවා විතරයි මේ

      Delete
  15. එදා හයිකු..අද "පුණු අතිපුණු විරිත"...හ්ම්ම් ගොඩක් වටින් පෝස්ට් එකක් පූමෝ...මාත් ඔය නිසඳැස් විතරක් ලියන්න ට්‍රයි කරන්නේ ඔය විරිත් නොදන්න හන්දා තමයි..අරක නිදහස්නේ

    ReplyDelete
    Replies
    1. මම සඳස් වලට කැමතියි තමා. ඒත් එක පාරටම මොකක් හරි දෙයක් ලියන්න ඕනා කියලා හිතුණාම නිසදැස් තමයි හරියන්නේ

      Delete
  16. ටොයිලට් එකක් ලඟපාත නෑ, සෙට් වෙච්ච ගමන් කවි ටික කියවනවා :D

    සැ.යු - (කවි ටික පට්ට ඈ, අමුතුම මෙවුව එකක් තියෙනවා)

    ReplyDelete
  17. Replies
    1. ගොඩක් ස්තුතියි අගය කිරීමට. දිගටම එන්න මේ පැත්තේ

      Delete

තාම පොඩි එකා, ගොඩක් දුර යන්න නම් වැරදි හදා ගන්න ඕන.
පුළුවන් තරම් වැරදි කියන්න. හොදම කිව්වොත් ලොකු කම ඔළුවට ගහයි.